HDDES සමූහ ව්‍යාපාරයෙන් ස්වභාවික නිෂ්පාදන පෙළක්
HDDES

HDDES සමූහ ව්‍යාපාරයේ නව නිෂ්පාදන පෙළක් උත්සවාකාරයෙන් එළි දැක්වීම සහ එම ආයතනයේ නිර්මාතෘ දේශමාන්‍ය එච්. ධර්මසිරි ද සිල්වා මහතා පිළිබඳ තොරතුරු ඇතුළත් “දම්සිරිවත” වෙබ් අඩවිය ජනගත කිරීම පසුගිය අගෝස්තු 26 වැනිදා සෙනසුරාදා පෙරවරු 9.00 ට අනුරාධපුර අභයගිරි විහාර පරිශ්‍රයේදී සිදු කෙරිණ.

මෙහිදී HDDES ආයතනය මඟින් පාරිභෝගිකයන් වෙත හඳුන්වා දෙනු ලැබූ නවතම නිෂ්පාදන පෙළට ස්වාභාවික මීපැණි, මීපැණියෙහි පදම් කරන ලද සුදුළුූනු, මීපැණි යෙදූ සියඹලා සාරය, අඹරන ලද ගොරකා තලපය, අඹරන ලද අබ තලපය/ක්‍රීම්, සියඹලා තලපය/පේස්ට්, අයත් විය.

සියයට සියයක් ස්වාභාවික මීපැණි

ස්වාභාවික මී පැණි යනු ආදි කාලීන මිනිසාගේ සිට භාවිතයට ගැනුණු පෝෂ්‍යකාරක ද්‍රව්‍යයක් ලෙස සඳහන් කළ හැකිය. මල් පැණිවල ඉමිහිරි රසයෙන් සහ සුවඳින් අනූන ස්වාභාවික මී පැණි විවිධ පෝෂක පදාර්ථවලින් පිරිපුන්ය. ප්‍රති ඔක්සිකාරකවලින් සපිරි එය මධුමේහය හෙවත් දියවැඩියාවෙන් පෙළෙන රෝගීන්ට යහපත් ඖෂධයකි. එසේම එයට හෘදයාබාධ වැළැක්වීමේ ශක්තිය ද දැවුම් පිළිස්සුම් සහ තුවාල සුව කිරීමේ හැකියාව ද පවතී. දරුවන්ගේ කැස්ස සමනයට මෙන්ම ඕනෑම අයකුට ක්ෂණික ශක්තිය ලබා දෙන ඖෂධාහාරයක් ලෙස ද මානසික රෝග මර්දනයට මෙන්ම රූප ලාවණ්‍ය අමුද්‍රව්‍යයක් ලෙස ද ස්වාභාවික මී පැණි යොදා ගැනේ.

සියයට සියයක් ස්වාභාවික අමුද්‍රව්‍ය යෙදූ මීපැණියෙහි පදම් කරන ලද සුදු ළුූනු

මී පැණියෙහි පදම් කරන ලද සුදුළුූනු යනු අමෘතයක් බඳු ඖෂධාහාරයකි. සුදු ළුෑණුවල ඇති ඇලිසීනවල ගුණය මෙන්ම මීපැණිවල ඇති ප්‍රතිඔක්සිකාරක සංයෝගය සමස්ත සිරුරේ සියලු සෞඛ්‍ය ගැටලුවලට පූර්ණ විසඳුමක් ලබා දෙයි. බැක්ටීරියා සහ වෛරස මර්දනයට මෙන්ම ප්‍රතිශක්ති වර්ධනයට දායක වන මේ සංයෝගය රෝගවලට එරෙහිව සටන් කිරීමට සිරුරේ ශක්තිය වඩවයි. සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට ප්‍රිය කරන සැමට එය මනා ඖෂධාහාර සංයෝගයකි. මෙය ප්‍රතිශක්තීකරණ පද්ධතිය සක්‍රිය වීමත්, උණ සහ සෙම්ප්‍රතිශ්‍යාවට එරෙහිව සටන් කිරීමත්, කොලස්ටරෝල් මට්ටම පාලනයත්, හදවත් රෝගවලින් වැළකීමත්, බඩ දැවිල්ල ආදියෙන් වැළකීමත්, නිසග සෞඛ්‍යාරක්ෂාව ඉහළ නැංවීමත්, ප්‍රතිඔක්සිකාරකයක් ලෙස කටයුතු කිරීමත් සිදු වන බැවින් ඉහළ ඖෂධීය ගුණයකින් යුතු සංයෝගයකි.

සියයට සියයක් ස්වාභාවික සියඹලා සාරය සමඟ මුසු කළ මීපැණි

අතීතයේ පටන් මිනිසාගේ ඖෂධාහාරයක් ලෙස ගැනෙන මී පැණි සමඟ තවත් අගනා ඖෂධීය ගුණයෙන් යුතු ශාකයක් වන සියඹලා ඵලයෙහි සාරය මුසු කොට තනන ලද මේ සංයෝගය පෝෂ්‍ය පදාර්ථයන්ගෙන් අනූනය. ප්‍රතිඔක්සිකාරකවලින් පිරිපුන්ය. හෘද සෞඛ්‍යයට ගුණදායකය. සිරුරට ක්ෂණික ශක්තිය ලබා දීමෙහි සමත්ය. රුධිර පීඩනය පාලනය කරයි. බර අඩුකර ගැනීමට මහඟු උපකාරයකි. රුධිරය පිරිසුදු කරයි. ස්නායු ක්‍රියාකාරීත්වය වර්ධනය කරයි. ප්‍රතිශක්තීකරණය ඉහළ නංවයි.

ගොරකා තලපය

ඈත අතීතයේ සිට ශ්‍රී ලංකාවේ සූප ශාස්ත්‍රයේදීත් ඖෂධවේදයේදීත් නැතුවම බැරි අමුද්‍රව්‍යයක් ලෙස ගොරකා හැඳින්විය හැකිය. මේ වන විට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නවමු මුහුණුවරක් ඇති කිරීමට හේතු වූ මෙන්ම ලොව පුරා අති විශාල ඉල්ලුමක් ඇති ඖෂධාහාරයක් ලෙස ගොරකා යොදා ගැනේ. එහි අති සුවිශේෂි රසයත් සමඟ ගොරකා ඉවතලිය නොහැකි කුළුබඩු වර්ගයක් බවට පත්ව තිබේ. ව්‍යංජන පිසීමේදී එය ලබා දෙන අධික ඇඹුල් රසය ආහාරයේ රසවත්බව ඉහළ නංවයි. ගොරකාවලින් ආහාර මෙන්ම පාන සැකසීමට ද අපේ මුතුන් මිත්තන් දැන සිටි බව නොරහසකි. ලුණු ස්වල්පයක් සමඟ මුසු කළ ගොරකා තලපයට ආවේණික රසය සහ සුවඳ නොමඳව දැනෙන්නේ ඒවා සියයට සියයක් ස්වාභාවික අමුද්‍රව්‍ය යොදා නිපදවන නිසාය. එහි අඩංගු හයිඩ්‍රොක්සිසිට්‍රික් අම්ලය ආහාර රුචිය වැඩවීමට වැදගත් වෙයි. බර අඩු කිරීමටල සන්ධි වේදනා සහ ජීර්ණ පද්ධතියේ අක්‍රමිකතා නිවාරණයටල මලල ක්‍රීඩකයන්ගේ කාර්ය සාධන හැකියාව වැඩි කිරීමට, සිරුරේ කොලස්ටරෝල් ප්‍රමාණය අඩු කිරීමට, දියවැඩියා සමනයට, පණු රෝග සහ පරපෝෂිත ගැටලු මර්දනයට, ආන්ත්‍රික ක්‍රියාකාරීත්වය ඉහළ නැංවීමට මේ ගොරකා මිශ්‍රණය ඉවහල් වේ.

සියඹලා සාරය

ලොව පුරා ආහාර රසකාරකයක් ලෙස යොදා ගන්නා සියඹලා පලතුරක් ලෙස සැලකේ. ඇඹුල් මිශ්‍ර පැණිරසකින් යුතු සියඹලා යෙදීමෙන් ආහාරයට ඉමිහිරි රසයක් එක් වෙයි. එයටම ආවේණික රසයට අමතරව සියඹලා යනු ගුණයෙන් අනූන ඖෂධයක් ලෙස අතීතයේ සිට භාවිත කෙරෙන්නකි. එය වෛරසවලට එරෙහිව ක්‍රියාත්මක වෙයි. බැක්ටීරියා නාශක, වෛරස නාශක, දිලීර නාශක, මධුමේහ නාශක මෙන්ම ප්‍රතිඔක්සිකාරක ගුණයන්ගෙන් අනූන ඖෂධයකි. තුවාල හොඳ කිරීමේ හැකියාව, අම්ල පිත්තය, මළබද්ධය, උගුරේ සෙම ගතිය සමනය කිරීම, රුධිරානු නිෂ්පාදනය සහ වණ දද කුෂ්ඨ ආදිය සුව කිරීමේ විශේෂ හැකියාවක් සියඹලාවලට ඇත.

අබ තලපය

අබ ඇටවලින් තනා ගන්නා මේ තලපය ද ආහාර පිසීමේදී එක් කරගන්නා කුළුබඩු වර්ගයකි. අඹරන ලද අබ ඇටවලට විනාකිරි, ලුණු සහ කහ විවිධ ප්‍රමාණවලින් එක් කිරීමෙන් දීප්තිමත් කහ පැහැයේ සිට තද දුඹුරු පැහැය දක්වා පරාසයකින් මෙය සකසාගත හැකිය. අබ ඇටවල ඇති දැඩි තියුණු තිත්තට හුරු රසය සමඟ එය ආහාරයට යකඩ, කැල්සියම්, සෙලනියම් සහ පොස්පරස් එක් කරයි. එසේම පිළිකාවට, දියවැඩියාවට, පොතු කබර රෝගයට මෙන්ම දිලීර හා බැක්ටීරියාවලට ද එරෙහිව සටන් කරයි. ප්‍රති ඔක්සිකාරකයක් මෙන්ම ස්නායු විකෘතිතා සුව කිරීම සඳහා යොදා ගන්නා ආහාරයකි. පාකින්සන්, හන්ධි වේදනා, බඩ දැවිල්ල වැනි රෝග රැසකට ප්‍රතිකාර කිරීමේ ගුණ සපිරි ඖෂධාහාරයකි.

HDDES ආයතනය මේ නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කරන්නේ සාම්ප්‍රදායික ඥානය ඇසුරින් ලබාගත් පාරම්පරික වට්ටෝරු නවීන තාක්ෂණය හා මුසුකොට, භාවිතයට පහසු රසවත්, ගුණවත් ස්වාභාවික ගුණයෙන් හෙබි නිපැයුම් පෙළක් ලෙස බව ආයතනයේ නිර්මාතෘ දේශමාන්‍ය, දේශබන්ධු එච්. ධර්මසිරි ද සිල්වා මහතා උත්සව සභාව අමතමින් ප්‍රකාශ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ධර්මසිරි මහතා මෙසේ ද පැවසීය.

“නිෂ්පාදන හය පාරිභෝගිකයන් වෙත දායාද කිරීමේදී අපේ ආයතනය අපටම ආවේණික ශ්‍රී ලාංකික පදනමක් සහ අනන්‍යතාවකින් හෙබි විශාල වටිනාකමක් ඇති දේ ගැන හඳුනාගත්තා. ඒ හඳුනා ගැනීම තමයි මේ නිෂ්පාදන පෙළ සමඟ අපට ඉදිරියට එන්න ලැබුණු ලොකුම වරප්‍රසාදය. ඒ සඳහා අපි යොදා ගත්තේ ස්වභාවික මී පැණි, ස්වභාවිකව වැවෙන සුදුළුෑනු, ගොරකා, සියඹලා වැනි අමුද්‍රව්‍ය. මේවා අපට අපේ ජනතාවට හුරුයි.”

පාරම්පරික දැනුම, සාම්ප්‍රදායික ඥානය ඇසුරින් තැනුණු මෙවන් පුරාතන වට්ටෝරු අද සමාජයට ගැළපෙන පරිදි ඉදිරිපත් කිරීමට නවීන තාක්ෂණය සමඟ මුසු කරමින් ඒ දැනුම හා රසයත් ගුණයත් ඉදිරියට ගන්න අවශ්‍ය ක්‍රියාදාමයට යොමු වන්න අපේ ආයතනය සතු අවස්ථාව ඉහළයි. අපට විශාල පහසුකම් රැසක් තිබෙනවා. ඒවා මත පදනම්වයි අප මේ ක්‍රියාවලියට අතගැසුවේ. එමෙන්ම අභයගිරිය මෙයට මූලික තෝතැන්න වුණේ මගේ අධ්‍යාත්මික බැඳීම සමඟ ඇති වුණු පෞද්ගලික හැඟීමක් නිසා. අභයගිරිය අසලදී මට හැඟෙනවා මට විශාල බලයක්, ශක්තියක්, ධෛර්යයක් සහ වාසනාවක් මෙතැන ඇති බවක්. මේ ක්‍රියාදාමයට අභයගිරිය මූලික වුණේත් ඒ නිසා. එය මගේ තෙවැනි ඇසට නැත්නම් සයවැනි ඉන්ද්‍රියට දැනෙන දෙයක් මිස අභයගිරියේ ඉතිහාසය හෝ වෙනත් දෙයක් පිළිබඳ දැනගැනීමෙන් ඇති වුණු හැඟීමක් නෙවෙයි.

අපි මේ සියලු නිෂ්පාදන කටයුතු කරන්නේ හරිත නිෂ්පාදන ලෙස වගේම ස්වභාවික. කාබනික නිෂ්පාදන ලෙස. අප ආයතනය අපේ ආදරණීය පාරිභෝගිකයන් වෙනුවෙන් ඉදිරියේදී තවත් නිෂ්පාදන 11ක් එළි දක්වන්න සූදානමින් ඉන්නවා, අපේ පර්යේෂණ සහ සංවර්ධන අංශයේ රසායනික පර්යේෂණ නිලධාරීන් මේ වන විට ඒ කටයුතු සම්පූර්ණ කරමින් සිටිනවා.”

මේ නිෂ්පාදන පෙළ එළි දැක්වීමට සමගාමීව අභයගිරිය ප්‍රදේශයේ ආර්ථික අපහසුතා ඇති බවට හඳුනාගත් ගර්භණී මවුවරුන් සිය දෙනකු වෙනුවෙන් වියළි ආහාර ද්‍රව්‍ය මෙන්ම දරු ප්‍රසූතියේදී හා බිලිඳුන්ට වැදගත් වන භාණ්ඩ රැසක් පරිත්‍යාග කිරීමට ද HDDES සමූහ ව්‍යාපාරයේ මූල්‍ය දායකත්වය යටතේ HDDES පදනම කටයුතු යොදා තිබිණි.

මේ උත්සවයේ මූලාසනය හෙබවීම සහ මූලාසන දේශනය නුවර කලාවියෙහි ප්‍රධාන සංඝනායක, අනුරාධපුර අටමස්ථානාධිපති, රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලාභී අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන්වහන්සේ විසින් දරනු ලැබූ අතර උන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් දම්සිරිවත වෙබ් අඩවිය ජනගත කිරීමටද කටයුතු යොදා තිබිණ.

උත්සවයට සහභාගී වූ පිරිස පංචශීලයෙහි පිහිටුවීම රත්නමාලී චෛත්‍යාරාමාධිකාරී උතුරුමැද දිශාවේ ප්‍රධාන සංඝනායක රජරට විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය ඊතලවැටුණු වැවේ ඥානතිලක නාහිමිපාණන් වහන්සේ විසින් සිදු කරන ලද අතර, පිරිස පිළිගැනීම හා අරමුණ පැහැදිලි කිරීම සිදු කරන ලද්දේ අභයගිරිය චෛත්‍යාරාමාධිකාරී ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය කල්ලන්චියේ රතනසිරි නාහිමිපාණන් වහන්සේ විසිනි.

ප්‍රධාන අනුශාසනාව අමරපුර මහා සංඝ සභාවේ මහ ලේඛකාධිකාරී, අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ ලේඛකාධිකාරී, ශ්‍රී ලංකා ප්‍රාචීන භික්ෂු විද්‍යාලයේ මහෝපාධ්‍ය, රාජකීය පණ්ඩිත, දර්ශනපති, බලපිටියේ සිරි සීවලී නාහිමිපාණන් වහන්සේ විසින් සිදු කරන ලද අතර ආරාධිත දේශනය රජරට විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ පීඨාධිපති මහාචාර්ය බන්දුල ජයතිලක මහතා විසින් සිදු කරන ලදී.

HDDES ආයතනයේ නිර්මාතෘ වන දේශමාන්‍ය, දේශබන්ධු, එච්. ධර්මසිරි ද සිල්වා මහතාගේ දෙටු පුත් එම ආයතනයේ වත්මන් සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ ගෙහාන් ද සිල්වා මහතා විසින් උත්සවයට සපැමිණි සියලු දෙනා සඳහා ස්තූතිය පුද කළ අතර ප්‍රදේශයේ ප්‍රභූවරු, රාජ්‍ය පරිපාලන නිළධාරීන්, ව්‍යාපාරික සහකරුවන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගී වී සිටියහ.

Share now