පසුගිය දා මියන්මාරයට බලපෑ අති බිහිසුනු භූමිකම්පා තත්ත්වයෙන් විනාශ වූ දේපළ යතාවත් කිරීම වෙනුවෙන් බලපිටිය ශ්‍රී ලංකා ප්‍රාචීන භික්ෂු විද්‍යාලය එම රජය වෙත මූල්‍යාධාර ප්‍රධානයක් සිදුකරනු ලැබීය. අමරපුර සිරි සද්ධම්ම වංශ මහා නිකායේ ලේඛකාධිකාරී, ශ්‍රී ලංකා ප්‍රාචීන භික්‍ෂු විද්‍යාලයේ මහෝපාද්‍ය, රාජකීය පණ්ඩිත, දර්ශනපති, බලපිටියේ සිරි සීවලී නාහිමියන් ප්‍රධාන කොට වූ මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් පැවැති මෙම උත්සවයට ශ්‍රී ලංකාවේ මින්මාර තානාපතිතුමිය වන මාලාර් තාන් තයික් මහත්මිය, මියන්මාර රජය නියෝජනය කරමින් සහභාගී වු අතර ප්‍රාචීණ භික්‍ෂු විශ්ව විද්‍යාලයේ පාලක මණ්ඩලයේ සභාපති තනතුර දරණ HDDES සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘතුමන් වන දේශමාන්‍ය එච්. ධර්මසිරි ද සිල්වා මහතා විසින් මෙම පරිත්‍යාගය, තානාපතිතුමිය වෙත ප්‍රධානය කරන ලදී. මෙහිදී බලපිටියේ සිරි සීවලී නාහිමියන් විශේෂ අනුශාසනාවක් සිදුකරමින් මියන්මාරය හා ශ්‍රී ලංකාව අතර පවතින ඓතිහාසික මිත්‍රත්වය හා සාසනික බැඳීම පිළිබඳ අතීත කරුනු රැසක් ගෙනහැර දක්වමින් දේශනාවක් සිදු කළ අතර එච්. ධර්මසිරි ද සිල්වා මැතිතුමන් ඉතා හරවත් කතාවක් සිදුකරමින් ශ්‍රී ලාංකිකයන් වශයෙන් මෙම අභියෝගාත්මක අවස්ථාවේදි මියන්මාරය සමග සහෝදරත්වයෙන් බැඳී හැකි සෑම ලෙසිකින්ම උදවු උපකාර කිරීමට සුදානම් බවද ප්‍රකාශ කර සිටියේය. ඉන්පසු සභාව ඇමතූ ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපතිතුමිය මෙම පරිත්‍යාගය වෙනුවෙන් මහා සංඝරත්නයට මෙන්ම භාරකාර මණ්ඩලයටද, සමස්ත ශ්‍රී ලාංකියන්ටද සිය ස්තුතිය පළ කරන ලදී.



















