කප්පින වලව්ව ප්‍රාචීණ භික්ෂු විද්‍යාලයට HDDES පදනමින් පුස්තකාලයක් සහිත නව ගොඩනැගිල්ලක්

ශ්‍රී ලංකාව තුළ බෞද්ධ දර්ශනයේ චිරස්තිතිය උදෙසා අමිල කාර්‍යභාරයක් ඉටු කරන බලපිටිය කප්පින වලව්ව ප්‍රාචීන භික්‍ෂු විද්‍යාලයට අඩුවක්ව පැවති පුස්ථකාලයක් හා නවීන පංතිකාමර රැසකින් සමන්විත නව ගොඩනැගිල්ලක් පසුගිය ජූනි මස 17වනදා HDDES පදනමෙහි පූර්ණ අනුග්‍රහයෙන් සාදවා, නිමවා පරිත්‍යාග කරන ලදී. වැඩමවා වදාල අමරපුර සිරි සද්ධම්ම වංශ මහා නිකායේ මහා නායක අහුංගල්ලේ සිරි සීලවිසුද්ධි මහනාහිමියන් ප්‍රමුඛ අමරපුර මහා සංඝ සභාවේ මහා ලේඛකාධිකාරී, අමරපුර සිරි සද්ධම්ම වංශ මහා නිකායේ ලේඛකාධිකාරී, ශ්‍රී ලංකා ප්‍රාචීන භික්‍ෂු විද්‍යාලයේ මහෝපාද්‍ය, රාජකීය පණ්ඩිත, දර්ශනපති, බලපිටියේ සිරි සීවලී නාහිමියන්, අනුනායක කොස්ගොඩ සුභූති නාහිමියන් යන නායක ස්වාමීන්ද්‍රයන්වහන්සේලාගේ මූලිකත්වයෙන් HDDES පදනමෙහි නිර්මාතෘ මෙන්ම HDDES සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘතුමන් වන දේශමාන්‍ය එච්. ධර්මසිරි ද සිල්වා මහතා, බුද්ධශාසන, ආගමික, හා සංස්කෘතික අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා, ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා මහතා, හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න මහතා යන ආරාධිත අමුත්තන්ගේ සහභාගිත්වයෙන් මෙම ගොඩනැගිල්ල සඟසතු කිරීමේ උත්සවය සරල හා චාම් අන්දමින් එම පරිශ්‍රයේදී පැවැත්විණ. 

HDDES පදනම මගින් වෙන් කරන ලද රුපියල් මිලියන දහසයකට අධික මුදලක් වැය කරමින් ශ්‍රී ලංකා යුධ හමුදාවේ සහ නාවික හමුදාවේ ස්වේච්ඡා ශ්‍රම දායකත්වයෙන් ඉදිරිකරන ලද මෙම පුස්ථකාලයක් සහිත දෙමහල් මන්දිරය මෙතෙක් එම විශ්ව විද්‍යාලයට අඩුවක්ව පැවති සංවිධිත පුස්ථකාලයක අවශ්‍යතාවය සම්පූර්ණ කරන ලදී. 

බෞද්ධ දර්ශණය හා පාලි ඉගැන්වීම් සඳහාම පිහිටුවන ලද මෙම ප්‍රාචීණ භික්‍ෂු විශ්ව විද්‍යාලයේ පාලක මණ්ඩලයේ සභාපති තනතුර දරණ HDDES සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘතුමන් වන දේශමාන්‍ය ඒච්. ධර්මසිරි ද සිල්වා මහතා පිළිබඳ කරනු දක්වමින් අමරපුර සිරි සද්ධම්ම වංශ මහා නිකායේ ලේඛකාධිකාරී, බලපිටිය ප්‍රාචීන භික්‍ෂු විශ්ව විද්‍යාලයේ මහෝපාද්‍ය දර්ශණපති, රාජකීය පණ්ඩිත බලපිටියේ සිරි සීවලී හිමියන් මෙසේ පැවසූහ. 

යම් කෙනෙකුට කුසලයක් සිදු කිරීමට සිත් ඇතිවීමටත් පෙර පිනක් තිබිය යුතුයි. අපේ රටේ බොහෝ දනපතියන් සිටියත් මෙවැනි කුසල කර්ම සඳහා තම ධනය වැය කිරීමට තරම් ඔවුන් උනන්දුවන්නේ නෑ. ඒ අන්කිසිවක් නිසා නොවෙයි, මෙවැනි සද්කාර්යක යෙදෙන්න තරම් පිනක් ඔවුන් සිදුකර නැහැ. බලපිටි පුත්‍රයෙකු වන ධර්මසිරි ද සිල්වා මැතිතුමා, එම මැතිණිය හා දූ දරු පිරිස එවැනි පුද්ගලයන්ට නිතැතින්ම ආදර්ශයක් වනවා නොඅනුමානයි. අපේ රටට විදේශ විනිමය උපයා දෙමින් දැහැමිව උපයා ගන්නා ධනයෙන් කොටසක් බුද්ධ ශාසනයේ චිරස්තිතිය උදෙසා වෙන්කරන මෙවැනි පිංවත් පිරිස සැමගේ ප්‍රසංසාවට හා අගයකිරීමට ලක් විය යුතුයි,  

මෙම අවස්ථාවට කාන්ති ද සිල්වා මැතිණිය, ගෙහාන් ද සිල්වා මහතා, මෙවන් ද සිල්වා මහතා, බිනුර ද සිල්වා මහතා අතුළු HDDES සමුහ ව්‍යාපාරයේ ඉහළ කළමනාකාරිත්වය නියෝජනය කරමින් බොහෝ පිරිසක් සම්බන්ධ විය.  

Share now