ව්‍යග්ඝපජ්ජ සූත්‍රයෙන් ව්‍යාපාරිකයෙකුට ගත හැකි ආදර්ශ

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අපනයන ව්‍යාපාරයක් පවත්වාගෙන යන මගේ ව්‍යාපාරික ජිවිතයේ සාර්ථකත්වයේ රහස එයයි. ඒ අන් කවරක් හෝ නොව, එදා අප මහා බුදු රජානන්වහන්සේ විසින් දේශනා කළ වදාල අති බලසම්පන්න ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ ඇති පිළිපදාවයි. තම ව්‍යාපාරය මෙන්ම පුද්ගලික ජීවිතයත් සාර්ථකත්වයේ හිමි පෙත්තට මෙහෙයවන්නට බලාපොරොත්තුවෙන් පසුවෙන ඔබ සැමගේ ප්‍රයෝජනය උදෙසා මගේ පුද්ගලික අත්දැකීම්ද සහිතව ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ සඳහන් මේ මහානුභව පිළිවෙත ඔබ හමුවට ගෙන එන්නට මම මෙම ලිපියෙන් බලාපොරොත්තු වෙමි. 

එක් සමයක අප මහා භාග්‍යවතුන් වහන්සේ කෝලිය ජනපදයේ කක්කරපත්ත නම් නියම් ගමක වැඩ සිටි සේක. මේ බැව් සැල වූ දීඝජානු නම් කෝලිය තරුණයා උන්වහන්සේ බැහැ දකින්නට සිතා එහි ළඟාවිය. ලොව්තුරා බුදුරජානන් වහන්සේට එකත්පස්ව වැඳ නමස්කාර කොට, තමන්ට අසා වදාලා දැනගන්නට රිසි ප්‍රශ්න කිහිපයක් භාගවතුන් වහන්සේ වෙත මෙසේ යොමු කළේය. භාග්‍යවතුන්වහන්ස, අප කාමභෝගී වූ ගිහියන් ලෙස කසී සළු සඳුන් අඳිමින්, රන් රිදී මුතු මැණික් පරිහරනය කරමින්, මල් ගඳ විලවුන් දරමින් සැපසේ ජීවත්වන්නට සිතුවත් නිතැතින්ම පීඩාවෙන්ම වාසය කරන්නෙමු. එබැවින් මෙලොව යහපත හා සැප පිණිස මෙන්ම පරලොව යහපත පිණිසද වන යම් ධර්මතාවක් වේ නම් එය දේශනා කොට වදාල මැනවි යැයි මහා ශ්‍රද්ධාවෙන් යුක්තව අයාචනා කර සිටියේය. එම අවස්ථාවේ අප තිලෝගුරු බුදුරජානන් වහන්සේ පහත කරුණු ගෙන හැර දක්වමින් ව්‍යග්ගපජ්ජ සූත්‍රය දීඝජානු කෝලිය පුත් හට දේශනා කර වදාල සේක. 

එහිදී අප භාග්‍යවතුන් වහන්සේ මෙලොව යහපත හා සැප පිණිස මූලික වන ධර්ම කරුණු සතරක් ගෙනහැර දැක්වූ සේක. 

  1. උට්ඨාන සම්පදා / උත්සාහ සම්පත්තිය 
  2. ආරක්ඛ සම්පදා / ආරක්‍ෂා සම්පත්තිය
  3. කළ්‍යාණ මිත්‍රතා / යහපත් මිතුරන් ඇති බව
  4. සමජීවකතා / ආදායමට සරිලන ජීවන රටාව 

1. උට්ඨාන සම්පදා / උත්සාහ සම්පත්තිය 

උත්සාහ සම්පත්තිය යනුවෙන් අදහස් කරනුයේ තමන් ජීවිකාව උදෙසා සිදුකරනු ලබන ගොවිතැනක්, වෙළදාමක්, පරිපාලනයක්, ආදි වූ කිනම් ශිල්පක් අරභයා හෝ දක්‍ෂ ලෙස කටයුතු කිරීම, අලසකමින් තොරව, නිරන්තර සංවර්ධනය උදෙසා විධි සහ ක්‍රමෝපායන් යොදමින්, නිවැරදි අවස්ථාවේ නිවැරදි තීරණ ගනිමින්, අප්‍රතිහත වීර්‍යයෙන් යුතුව කටයුතු සිදුකිරීමයි. එවැනි පුද්ගලයෙක් නිතැතින්ම උත්සාහ සම්පත්තියෙන් යුක්ත වන අතර එය ඔහුගේ සාර්ථකත්වය සඳහා තීරණාත්මක සාධකයක් වේ. 

2. ආරක්ඛ සම්පදා / ආරක්‍ෂා සම්පත්තිය

ආරක්‍ෂා සම්පත්තිය යන්වෙන් හඳුන්වනු ලැබූයේ උට්ඨාන විර්‍ය සම්පත්තියෙන් උපයා ගන්නා ලද ධනය සුරක්ෂා කර ගැනීමයි. තමන් දැහැමින් උපයාගත් ධනය රාජ්‍ය බලයෙන් උදුරා නොගන්නට කටයුතු කරයි නම්,  සොර සතුරන් විසින් සොරකම් කරන්නට ඇති අවස්ථාවන් අසුරා දමන්නේ නම්, ගින්නෙන් හෝ ස්වාභාවික විපත් වලින් විනාශ නොවන්නට වගබලා ගන්නේ නම්, හෝ තමන් සිදු කරන වැරැද්දක් වෙනුවෙන් හිලවු වශයෙන් හෝ දඩ මුදල් වශයෙන් ගෙවා දමන්නට සිදු නොවේනම් එම ධනය ආරක්‍ෂා කර ගැනීමේ සම්පත්තිය උදාවන බවයි.  

3. කළ්‍යාණ මිත්‍රතා / යහපත් මිතුරන් ඇති බව

තමා වටා සිටින, නිරන්තරයෙන් සාකච්ඡාවේ සහ ඇසුරෙහි යෙදෙන මිතුරන් හා හිතවතුන් කළ්‍යාන, ගුනවත්, සිල්වත්, ප්‍රඥා ගෝචර පුද්ගලයන් වන්නේ නම් කල්‍යාණ මිත්‍රතා සම්පත්තියෙන් අනූන වීමට ඉවහල් වෙයි. එවැනි අය ඇසුරේ යෙදෙන පුද්ගලයන් කුසලයට මිස අකුසලයට නොපෙළඹෙන අතර ඔවුන්ගෙන් තමන්ට වන හානියක් නොවන බව මින් පැහැදිලි කරයි. ඔවුන්ගෙන් තමන්ගේ ජීවිතයේ දියුනුවට රුකුලක් වනවා මිස පරිහානියට කරුනු නොයෙදෙන බවත් නිරන්තර හික්මීම ප්‍රගුණ කරන්නට මෙවන් සත්පුරුෂ ඇසුර අත්‍යාවශ්‍ය බවත් පැහැදිලි කර දෙයි. 

4. සමජීවකතා / ආදායමට සරිලන ජීවන රටාව

 ඉතා සරල අදහස තමන් උපයන ධනය පිළිබඳ ඇති නිවැරදි වැටහීම හා ඊට අනුරූපව තමන්ගේ ජීවිතය සැලසුම් කර ගැනීමට ඇති හැකියාවයි. තමන් සිදුකරනු ලබන කර්මාන්තයෙන් හෝ ව්‍යාපාරයෙන් හට ගන්නා අය හා වැය පිළිබඳ නිවැරදි වැටහීමක් ඇතිව කටයුතු කිරීමත් සැමවිට අය මැඩගෙන වැය පැවතීමෙන් තමන්ගේ ව්‍යාපාරයට පරිහානිය ඇතිවන බව වටහා ගෙන කටයුතු කිරීම වැදගත් බවත් මින් පැහැදිලි වේ. විශේෂයෙන් තමන් උපයන ධනය කොටස් හතරකට වෙන්කර ඉන් දෙකොටසක් නැවත ව්‍යාපාරයට ආයෝජනය කිරීමත්, තවත් කොටසක් ඉතුරුම් සඳහා යෙදවීමත්, ඉතිරි කොටස තම පරිභෝජනය සඳහා භාවිත කිරීමත් සුදුසු බවත් බුද්ධ දේශනාවේ සඳහන් වේ. 

එසේම මෙලෙස තමන් උපයාගත් ධනය විනාශ මුඛයට පමුණවන කාරනා සතරක් පිළිබඳවද මෙහිදී බුදුන් වහන්සේ විසින් දීඝජානු තරුණයා වෙනුවෙන් දේශනා කළ සේක. එම කරුණු පහත පිරිදි වේ. 

  • ස්ත්‍රීන් කෙරෙහි ලොල් බව
  • සුරාවට ඇති ලොල් බව
  • සූදුවට ඇති ලොල් බව
  • නරක මිතුරන් ආශ්‍රය කිරීම 

ජලය පිටවන්නට දොරටු සතරක් සහිත විලකට කොතෙකුත් ජලය උත්පාදනය වුවත් පලක් නොවී විල සිඳී යන්නේ යම් සේද මෙම සතර ව්‍යාධියෙහි ලොල් වන්නා කොතරම් ධනවතෙකු වුවුද සිය ධනය පරිහානියට පත් කරගන්නා බව දීඝජානු තරුණයාට බදුන් වහන්සේ අවබෝධ කර දෙන ලද සේක. 

එමෙන්ම මෙම දේශනාවේදී අප භාග්‍යවතුන් වහන්සේ විසින් පරලොව සැප පිණිස හේතු වන කාරනා සතරක් පිළිබඳවද දේශනා කළ සේක. එම සතර කරුණු පහත පරිදි වේ. 

  1. ශ්‍රද්ධා සම්පත්තිය
  2. සීල සම්පත්තිය
  3. චාග සම්පත්තිය
  4. ප්‍රඥා සම්පත්තිය 

1. ශ්‍රද්ධා සම්පත්තිය

තතාගතයන් වහන්සේගේ බුද්ධත්වය විශ්වාසකරමින් නවඅරහාරදී බුදු ගුණය පිළිබඳ පැහැදුනු සිතින් යුතුව ශ්‍රද්ධාවෙන් කටයුතු කරන ගිහි ජීවිතය පරලෝ සැපතට කාරනා ඉෂ්ට සිද්ධ කර ගන්නා බව එහිදී බුදුන් වහන්සේ පැහැදිලි කර වදාල සේක. 

2. සීල සම්පත්තිය

යමෙකු ගිහි ජීවිතය තුළ පස් පවින් වැලකී පන්සිල් රකිමින් දැහැමින් කල් ගෙවන්නේ නම් ශ්‍රද්ධා සම්පත්තියට උරුමකම් කිව හැකිය. සතුන් නොමරන, අන්සතු දේ සොරකම් නොකරන, කාමයෙහි වරදවා නොහැසිරෙන, මුසාවාදයෙන් වැලකුණු මෙන්ම සුරාවෙන් හා ප්‍රමාදයට හේතුවන සියල්ලෙන් ගැලවුනු ගිහි ජීවිතය තුල ශ්‍රද්ධා ගුණය පිහිටන බව මෙහිදි බදුරදුන් දේශනා කළ සේක.  

3. චාග සම්පත්තිය

දන් දීමෙහි සිත් ඇති, අනුන් කෙරෙහි අනුකම්පාවෙන් ඔවුන්ගේ හිත සුව පිණිස බෙදාදීමට ත්‍යාග සිත් ඇතිකරගෙන ඇලී ගැලී නොසිට, පුණ්‍යකර්මයෙහි යෙදෙන්නාවූ ගිහි ජීවිතය පරලොව සැපත අත්කරගන්නා බැව් භාග්‍යවතුන් වහන්සේ දේශණා කොට පහදා දුන් සේක. 

4. ප්‍රඥා සම්පත්තිය

ලෞකික දියුණුවේ ඇති හරය මනාව නුවණින් පසක් කර ඒ සඳහා ඇලී ගැලීමෙන් වැලකී, දුක ක්ෂය කරන මාවතෙහි සම්මා සතියෙන් යුතුව ගමන් කරන්නා අවසන ප්‍රඥා සම්පත්තිය උපදවා තම පරලොව ජීවිතය සැපවත් කර ගන්නා බවද මෙහිදී දීඝජානු තරුණයාට බදු රදුන් මනාව පැහැදිලි කර දුන් සේක.

ව්‍යාග්ගපජ්ජ (දීඝජානූ) සූත්‍රයෙහි පෙන්වා දුන් ඉහත කරුනු මනාව වටහා ගෙන එම කරුනු පිළිවෙතක් ලෙස පිළිපදින්නේ නම් කිසිවෙකුට තම දියුණුව වැඩි ඈතක නොවන අතර තම ව්‍යාපාර මැනවින් කළමනාකරණය කරමින් වඩා සාර්ථක පුරවැසියෙකු ලෙස ලොව ජයගන්නට මංපෙත් විවර වනු නොඅනුමානය. මෙම පිලිවෙත ප්‍රායෝගිකව අනුගමනය කරමින් සාර්ථකත්වය අත්කරගත් පුද්ගලයෙකු ලෙස මම ඔබ සැමට මෙම සද් මාර්ගයේ සාර්තකත්වය සොයා යන්නට ආරාධනා කරමි. තෙරුවන් සරණයි. 

Share now